Friday, May 5, 2023

ජෙන්ඩර්

 



දැනට දශක තුනකට විතර ඉස්සර මං එක වසරෙ ඉගෙන ගන්න කාලෙ ස්පෝර්ටස්මීට් එකේ පොඩි  ඩ්‍රිල් එකකට අපි තෝර ගත්තා. Amitha මැඩම් කියනවා වගේ අපි ගෑණු චරිත වලට කොහොමත් තෝරා ගැණුනේ නෑ ඒ කාලෙ. ඔලුවලට පැටවිලා තිබ්බ මනස්ගාත නිසා එහෙම ඒවා ගැන කියන කොටත් අපි විලි ලැජ්ජා වෙලා ගියා. ටික ටික ලොකුවෙනකොට එහා පැත්තෙ තිබ්බ සීතාදේවි එක, හයිස්කූල් එක ආදි වසයෙන් මහනුවර කාන්තා පාසල් වෙත ඔලු හැරවුණත් එක වසරෙදි එ⁣හෙම ඒවා තුන් හිතකවත් තිබුණේ නෑ. අපි හැසිරුණේ තනිකරම" අපේ අම්මලත් පිරිමි තමයි....ඇයි?" කියන්නා වගේ පුදුම ස්ත්‍රී විරෝධයක. හැබැයි ඔය කතන්දරේ ටික ටික ලොකුවෙනකොට චුට්ට චුට්ට වෙනස් වුණා.

ඔය කියන ක්‍රීඩා උත්සවේදිත් මම තෝර⁣ගෙන හිටියෙ කොල්ලෙකුට. පංති භාර පර්ලින් එස් ජයසූරිය මැඩම් කෙල්ලන්ට තෝරා ගත් කොල්ලන්ට ගවුමුත්, කොල්ලන්ට තෝරා ගත් කොල්ලන්ට කලිසමුත් පහුවදා අරන් එන්න කිව්වා. මම සුපුරුදු පරිදි ගෙදර ඇවිත් ගෙදරට පණිවිඩේ දෙන්නත් අමතක වෙලා යුනිෆෝම් එක පිටින් ඉස්කෝලෙ ගියා. මම පාට දිග කලිසමක් ගෙනල්ල නෑ. ඒ කන්ටෙන්ට් එකේ හැටියට කෙල්ලො කෙල්ලොවත් කොල්ලො කොල්ලොවත් අත් අල්ලලා දාන්නත් බෑ. මම හිටගෙනම පිස්සුවක් කෙළලා. ඔය අතරෙ අම්මලත් ස්පෝර්ටස්මීට් එක බලන්න ආවා. මැඩම් අම්මට විස්තරේ කිව්වා. අම්මත් මට බණිනවා. "ගෙදර ඇවිත් උඩ බලාගෙන ඉන්නවා මෙලෝ සිහියක් නෑ... දැං කොහෙන්ද ඇඳුම් හොයන්නෙ " වගේ ප්‍රශ්න පත්‍ර කට්ටලයක්. පස්සෙ කොහොම හරි බුද්ධික කියලා අපේ පංතියෙ මිත්‍රයෙකුට කෙල්ලක් හොයනවා කියලා ආරංචියක් ආවා. අම්මලත් කැමති වෙලා මාව ඒ කෙල්ලට ගන්න අන්තිමේ තීරණය වුණා. ඔන්න මනමාලයා ආවා. හැබැයි මිනහගෙ ඇස් උඩ ගියා. මොකද කෙල්ල ඉන්නෙ ශෝටක් ගහගෙන ඉස්කෝලෙ යුනිෆෝම් එක පිටින්. පස්සෙ අපෙ අම්මා අනේ හැම තැනම දුවලා තිලකා අතුරුපාන මැඩම්ලගෙ ⁣ගෙදරින් ඒ අක්කගෙ ඒ කියන්නෙ මැඩම්ගෙ දුවගේ ගවුමක් අරන් ඇවිත් මට ඇන්දුවා. මට හීනි ලැජ්ජාවක් ඇවිත් ඒක විසාල වෙලා ගවුම අඳින්න බෑ කිව්වා. අම්මා මගෙ කණකුත් මිරිකලා ගවුම ඇඟට බැස්සුවා. පස්සෙ ටික ටික ගවුමක් ඇඳං ඉන්නවා කියලා අමතක වෙලා ඒක කොට කලිසං ෆීලින්ග් එකකටම පරිවර්තනය වුණා. මනමාල මහත්තයත් වැඩේට සැට්වෙලා කරගෙන ගියා. තුන් හිතකවත් ගවුං අඳින්න කැමති නොවුණු මට ගවුමක් ඇඳගෙන නටන්නත් වුණා. 


අපේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවයත් අවස්ථානුකූලව වෙනස් වන්නක්. මිනිස්සු කියන්නෙම ස්ත්‍රී පුරුෂ භාව ප්‍රකාශනයන්ගේ  සම්ම්ශ්‍රණයක්. අපි කැමති වුණත් අකමැති වුණත් අපි විවිධ අවස්ථාවල මේ ලක්ෂණ දෙවර්ගයම ප්‍රකට කරනවා. ඒක තේරුම් ගත්තොත් ඒ වෙලාවට ටිකක් අමාරු වුණත් පස්සෙ කා⁣ලෙක ආයෙ ආයෙ මතක් කළ හැකි වටිනා මතක සැමරුම් රැසක් ජීවිතේට ඉතිරි වෙයි කියලා හිතෙනවා. මේ තියෙන්නෙත්  ඒවගේ සැමරුමක්. 

                                    

No comments:

Post a Comment

Beauty Assistant

මම චන්දු. කාලෙකට කලින් තරුණ සේවා සභාවේ රූපලාවණ්‍ය කෝස් එකක් කරලා සැලොන් ෆීල්ඩ් එකට ආවේ. කුරුණෑගල ෂොපින් එකේ සැලොන් එකක වැඩ කර කරා ඉද්දි වෙන ...